HNDA මාධ්‍ය සාකච්චාව

මෙතෙක් විසදුම් ලබා නොදුන් HNDA පාඨමාලාව හා සම්බන්ධ ගැටළු පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීමට හා ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ශිෂ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබඳ ජනතාව හා මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්, අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව මඟින් ඊයේ (12) කොළඹ දී පැවැත්විය. එහිදී අදහස් දැක්වූ අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු කසුන් සමරතුංග පවසා සිටියේ HNDA පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව අත්තනෝමතිකව අවලංගු කිරීම සම්බන්ධයෙන් අවුරුද්දක කාලයක් මුලුල්ලෙහි දිගින් දිගටම අධ්‍යාපන බලධරයන් දැනුවත් කලද මේවන තුරුම එම ගැටළු වලට විසදුම් ලබා දීමට ඔවුන් අපොහොසත්ව ඇති බවයි.
මෑතකදී පත්වුණ ජනපති ‍මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු නව රජයට ද HNDA පාඨමාලාව හා සම්බන්ධ ගැටළු ලිපි මඟින් ඉදිරිපත් කළද දැනට මසකට අධික කාලයක් ගත වුවත් අදාළ බලධරයන්ගෙන් මේ සම්බන්ධයෙන් නිෂ්චිත පිළිතුරක් ලබා දී නැති බවත් මහා ව්‍යාපෘති, වංචා දූෂණ, මත්කුඩු දින 100 ක් තුළ නවත්වනවා යැයි පවසමින් හා පාසල් තුළ මුදල් අය කිරීම හා සම්බන්ධ චක්‍රලේක, විවිධ අණපනත් ආදිය සිතු සැටියේම පාර්ලිමේන්තු සම්මත කරමින් විශාල මාධ්‍ය පෙරළියක් කරන වත්මන් රජය, HNDA සිසුන්ට එරෙහිව සිදුකරනු ලබන දැවැන්ත අධ්‍යාපන කප්පාදුව හමුවේ මුනිවත රකින්නේ මන්ද? ඒ පසුගිය රජයේ අධ්‍යපන ප්‍රතිපත්තිය ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තියම වන නිසාද? නැතහොත් මෙම ගැටළුව විසදීමට දින 100 ක කාලය ප්‍රමාණවත් නොවන නිසා ද? යන්න වැඩි දුරටත් ප්‍රශ්න කළේය.මේ හේතුවෙන් අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව ලෙස
1. HNDA පාඨමාලාවට රා.ප.ච 46/90 මඟින් හිමිව තිබූ වාණිජ්‍යවේදී උපාධි සමානතාව නැවත බලාත්මක කිරීම.
2. උසස් තාක්ෂණ ආයතන තුළ, Top up උපාධි මුදලට විකිණීමේ යෝජනාව ඉවත් කර ගැනීම.
3. උසස් තාක්ෂණ ආයතන සිසුන්ට ද මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රු.5000 ක් කිරීම.
4. උසස් තාක්ෂණ ආයතන 16 ට අදාලව ආචාර්යවරු, දේශනශාලා, පරිගණක විද්‍යාගාර හා නේවාසිකාගාර පහසුකම් ලබාදීම.
5. සියළු උසස් තාක්ෂණ ආයතන තුළ ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ අයිතිය ලබාදීම
යන ප්‍රධාන ඉල්ලීම් 5 මුල්කර ගෙන දෙවන වර දැනුවත් කිරීමේ ලිපියක්, ශිෂ්‍ය නියෝජිතයින් විසින් උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත බාර දීමට කටයුතු කරන බව හා ඉල්ලීම් ඉටුවන තුරු අවධියෙන් සිටින බවත් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ අරගලයේ අඛණ්ඩව යෙදී සිටින බවත් ප්‍රකාශ කළ සිටියේය.